Tuesday, November 10, 2009

ආයුබෝවේවා මහරජානණනි!!!


නැවතත් ලාංකේය දේශපාලන කරළිය උණූසුම් වෙමින් පවතියි. යුද්ධයෙන් පසුව කුණුකන්දල් අවුස්සමින්
සිටි මාධ්‍යය නව පුවත් මවන්නන් සොයමින් පවතියි. මෙතුවක් කල් තනි අශ්වයෙකුගේ සටනක් වුනු
ජනාධිපතිවරණ සටන පොදු අපේක්ෂක උන්මාදයෙන් වියරු වැටී ඇති සෙයකි. මාස දෙක තුනකට ඉහතදී
ජාතික විරුවෙකු වූ ජනරාල් පොන්සේකාට ආණ්ඩුවේ මාධ්‍යය පහර පිට පහර එල්ල කරද්දී, කලකට පෙර
මානව හිමිකම් කොමිසම ඉදිරියට ඔහු ගෙන යාමට තැත්කල පිරිස් ඔහුව රකින්නට තැත් කරති.


පොන්සේකා මහතා ජනපති පදවියට ඉතා සුදුස්සෙක් බව බොහෝ දෙනා සිතති. නමුත් යතාර්ථය නම් ඔහු මහරජතුමන්ටත් එහා ගිය උන්මන්තකයකු විය හැකිය යන්නයි. බලයේ සහ ප්‍රසිද්ධියේ සැප විදි පොන්සේකා මහතා ජ.වි.පෙ නොව සක්කරයා කීවත් විධායක ජනාධිපතිධුරය අත්හරිතියි සිතීම උගහටය. ඔහුගේ විධායක පාලනයක් යටතේ ලංකාවේ අනාගතය පිලිබද විශාල ගැටලුව්ක් මතු වනු ඇති බව පැහැදිලිය. මූලිකවම යුධසමයේ විදෙස් මාධ්‍යයන් වෙත දෙමළ ජනයාගේ අයීතීන් පිලිබද ඔහු කල ආන්දෝලනාත්මක ප්‍රකාශයන් අපගේ මතකයට නැගේ. එවන් ප්‍රතාශ ජාතික රාජ්‍යයක් තුල දෙමළ අභිලාෂයන් රදවා ගැනීමට රුකුල් නොදෙන බවනම් පැහැදිලිය. අප දැන් එළඹ ඇත්තේ වාර්ගික ගැටලුවේ සංධිස්ථානයකටය. ත්‍රස්තවාදය තුවක්කුවෙන් මෙල්ල කර ද්‍රවිඩ හදවත් සාමයෙන් දිනිය යුතු බව ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික බලවේග කලකටදී ඉහතී පාරම් බෑහ. අද එළඹ ඇත්තේ එකී හදවත් දිනාගැනීමේ යුගයයි. නමුත් එවන් තත්වයක් තුල පොන්සේකා‍ මහතාගේ සම්ප්‍රාප්තිය එතරම් සුභදායී නොවන බව පැහැදිලීය. මහරජගේ අවසානය පස්වන ඊලාම් යුද්ධයක ඇරඹුම විය හැක්කේද එබාවිනි.


වර්තමානයේ ප්‍රජාතන්න්‍රවාදය මූලික කරගත් ගැටලු රැසකට අප මුහුණ දී සිටින්නෙමු. මාධ්‍ය නිදහස අහිමි වීමේ සිට අභිරහස් සාමාන්‍ය පුද්ගල ඝාතන දක්වා එතී අර්බුධය ව්‍යාප්තව ඇත. නමුත් පොන්සේකා පාලනයක් යටතේ එහි අඩුවීමක් අපේක්ෂා කල හැකිද? මර්ධනය කිරිමේ කලාවේ කෙල පැමිණියෙක් ලක්දිව ඇතිනම් ඒ අන්කවරෙකුවත් නොව පොන්සේකා මහතා බව අවිවාදිතය. අද මාධ්‍ය කොතරම් බටර් ගෑවද හමුදා විනය පිටුපස ඇති එම දරදඩු පාලනය එම බටර් වලින් වුවද සැගවිය නොහැක. හමුදාව තුල පවත්වාගත් එම දරදඩු පාලනයම ලක්දිටවම ඌනනය වනු නැතැයි සාක්ෂි දැරිය හැක්කේ කාටද? පකිස්ථානයේ හෝ සිම්බාබ්වේ රාජ්‍යයේ ඉරණම ලංකාවට හිමිනොවනු ඇතැයි තිවහැක්කේ කාටද? අද දේවදූතයෙක් මෙන් පෙනී සිටින පොන්සේකා සැබවින්ම දේවදූතයෙක්ද මාරදූතයෙක්දැයි නිශ්චය කරනුයේ කෙසේද?


පොන්සේකගේ සම්ප්‍රාප්තිය සමග අපි යහපාලනයක් බලාපොරොත්තු වන්නෙමු. දැනට කණපිට ගසා ඇති ලාංකීය සමාජක්‍රමය සරි කිරීමක් අපි අපේක්ෂා කරන්නෙමු. විධායක ක්‍රමය නොමැති ජනතාවට වගකියන
පාලනයක් බලාපොරොත්තු වන්නෙමු. නමුත් ඒ සියල්ල සිදුවීමට මත්තෙන් ඉටුවියයුතු වැදගත් කරුණක් ඇත. මහරජාණන් පැන්නූ පොන්සේකා මහතා සැදැහැසිතින්, ලංකා ඉතිහාසයේ බිහිවූ බලවත්ම තනතුරට ආයුබෝවන් කිවයුතුය. නමුත් ඒ වැදගත් කරුණ අපේක්ෂිත අයුරින්ම ඉටු නොවුනොත්??? නැවතත් 'ආයුබෝ වේවා මහරජාණෙනි'ම වනු ඇත...'රජපස පන්නා පොන්සේකා ගෙන්නුවා වාගේ'යැයි සිංහලයට අලුත් පිරුලක් එකතුවීමටද බැරි නැත...ඉදින් එක් දෙයක් පැහැදිලිය. ඒ පොන්සේකා ආගමනයෙන් අප බලාපොරොත්තු වන දේශපාලන අයෛෂ්චර්යය, පොන්සේකා නොව සක්කරයා ආවත් ලංකාවේ දේශපාලන සදාචාරය ශෝධනය වනතෙක් ඉටු නොවනු බවමය. ආයුබෝවේවා මහරජානණනි!!!

Monday, February 23, 2009

ප්‍රභාකරන්ට මරණය!!!ලක්මවට සහනය!!!(?????)

අපි යුධ ජයග්‍රහණයන්ගෙන් උදම්ව සිටින්නෙමු. වසර තිහක් දික්ගැස්සුන යුද්ධයේ අභියස අපි සිටින්නෙමු. තවත් පියවර කිහිපයක් පමණි. ඉන් ඉක්බිති වසර ගණනක් අපට වද දුන් රුදුරු ත්‍රස්තවාදය සහමුලින්ම මුලින් උපුටා දැමෙනු ඇත...සාමකාමී ලංකාවක්! 2009...නිදහසේ වසරයි!

මේ තියෙන්නේ මගේ අදහස් නම් නෙමෙයි. මේ තියෙන්නේ සුවහසක් ලාංකිකයන්ගේ අදහස්. ඔවුන්ගේ පැතුම්. නමුත් යුද්ධයේ අන්ත‌ ලක්ෂයේ සිටින ලාංකික අපි මේ මොහොතේ ගන්නා උපාය මාර්ගික තීරණ නිවැරදිද?

දේශප්‍රේමයෙන් ඔද වැටී සිටින අපි එක හෙලාම "ඔව්" යැයි හඩ නගා කියනු ඇත..නමුත් සැබවින්ම පිලිතුර විය යුත්තේ "නැහැ" යන්නයි.

කාගෙද මේ මතය? ප්‍රභාකරන්ගෙද? පොට්ටු අම්මාන්ගෙද? සෝල්හයිම්ගෙද? නැහැ..මේ අදහස ලොවිතුරා බුදුරජාණන් වහන්සේගේය. මූලයකින් තොරව ප්‍රශ්නයක් නොනගින බව දේශනා කලේ උන්වහන්සේය. මූලයට පිලියම් නොකර ප්‍රශ්නයට පිලියම් දිය නොහැකි බව දෙසුවේද උන්වහන්සේය. ඉතිං, ත්‍රස්දවාදය මුලින්උපුටා දැමීමේ අරගලයකින් ලාංකේය ද්‍රවිඩ තාරුණ්‍යය නැගී සිටීමට හේතු වූ මූලයන් නිශ්ප්‍රභා කරන්නේද? නැවතත් පිලිතුර "නැහැ"..

බොහෝ දෙනෙකු LTTE නැගී සිටීම බල ලෝභී නැගී සිටීමක් ලෙස අරුත් ගන්වන්නට උත්සාහ ගනිති. කිළිනොච්චිය අල්ලා ගත් විගස පෙන්වන්නේ ප්‍රභාකරන්ගේ "සුඛෝපභෝගී නිවහනයි"..(නමුත් මේ නිවස අපේ නායකයන්ගේ සුඛෝපභෝගී නිවෙස් වලට අහලකින් තියන්නටවත් බැරිය!). අපි සැබෑ යථාර්තය යටගහන්න උත්සාහ කරමින් සිටිමු. අපි රවට්ටගන්න උත්සාහ කරගන්නේ අපි අපිවමය..මිලිටරි මාර්ගයෙන් බැහැරව ඉන්නා සංගරීලා සහ දේවානන්දලාත් ඒ බව එලිපිටම පිළිගනිති. ඇත්තෙන්ම ද්‍රවිඩ නැගිටීම පිටුපස බලලෝභියත්වයට වැඩි යමක් අතිවාර්යෙන් තිබිය යුතුමය. නැතහොත් වසර 30 ක යුද්ධයක් ඇදගෙන යාම කෙසේවත් කල නොහැක. ඉතිං මේ ගැටලුවට තිරසාර විසදුමක් දීමට එකී මූලය හදුනාගෙන ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම කල යුතුය. මන්ද අප දැන් සිදුකරන්නේ ඔවුන් බලයෙන් යටපත් කිරීමක් බැවිනි.

තමන්ගේ මතය තහවුරු කිරීමට, තමන්ගේ සෑබෑ ඉල්ලීම් ලබාගැනීමට පාලන තන්ත්‍රය අභියෝගයට ලක්කල හැකි/අපහසුතාවට ලක්කල හැකි අවියක් තමන් සතුව තිබිය යුතුය. නැතහොත් එලෙස නගන හඩ නිකම්ම නිකම් පුස් හඩක් බවට පත්වේ. (කොමියුනිස්ට් පක්ෂයට ආණ්ඩුව තුල තම මතය ස්ථාවර කල නොහැක්කේ මේ නිසයි. කලක් ජ.වි.පෙ ආණ්ඩුවේ කෙරුම්කරුවෙක් වුනෙත් මේ නිසයි). දෙමළ ජනයා සම්භන්ධයෙන් LTTE කියන්නේ දෙමළ ජනයා නියෝජනය කල දැවැන්තම හඞය. අපි මේ කරුණ එලිපිට පිලිනොගත්තත් සැබෑ සත්‍ය එයයි. මන්ද ආණ්ඩුවට බලපෑම් කල හැකි මට්ටමේ තුරුම්පුවක් ඔවුන් සතු වූ බැවිනි. නමුත් නිරායුධ හෝ පැරදුන එල්.ටී.ටී.ය ක් හරහා මේ කාර්ය්‍ය ඔවුන්ගෙන් සිදුවේද? කොහෙත්ම නැහැ..
වෙන විදිහකින් කිව්වොත් යුධ ජයග්‍රහණ වලින් පසුව ආණ්ඩුව 13වෙනි සංගෝධනය ගෙනාවත්, සන්ධීය රාජ්‍යයක් ප්‍රදානය කලත්, උතුරේ ගැටලුවට තිරසාර විසදුමක් ලැබෙතැයි අපට අපේක්ෂා කරන්න බැහැ..මොකද, අපි එතැනදි ඔවුන්ට තමන්ට අවශ්‍ය විසදුම තෝරගන්න විකල්පයක් දෙන්නේ නැහැ..තමන්ගේ විරුද්ධතාව පෙන්වන්න අවස්ථාවක් දෙන්නේ නැහැ..අපි කරන්නේ අපිට ඕන විසදුම බලෙන් ඔවුන් මත පටවන එක විතරයි...

රණවිරුවන්ට ,ජනපතිට අවශ්‍යය සහය අපි දෙමු..නමුත් ජයග්‍රහණයෙන් උදම් නොවෙමු..මන්ද එය විනාශයේ මුල් පියවරම විය හැකි බැවිනි..

Wednesday, February 18, 2009

ලංකා ක්‍රිකට් මළකමට පෙර කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණය

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව වෘත්තීයව ක්‍රියාත්මක වෙන එකම ක්ෂේත්‍රය ක්‍රිකට් කිව්වොත් මම බොහෝ දුරට නිවැරදියි. ආර්ථික කලමණාකරණය බිද වැටෙද්දී, දේශපාලනය අස්ථාවරව යද්දී, තමන්ගේ ස්ථාවරත්වය රදවා ගන්න ක්‍රිකට් සමත්වුනා. නමුත් මේ එළඹ ඇත්තේ ඒ ස්ථාවරත්වයේ අවසානයද?

මේකට මූලික හේතුව ලංකාවේ ක්‍රිකට් වල විවිධ ක්ෂේත්‍ර විවිධ මට්ටම් වලින් ක්‍රියාකරීඹ. ක්‍රිකට් ක්‍රීඩකයන් අතිශය වෘත්තීය ස්වභාවයකින් ක්‍රියා කරද්දී, පරිපාලකයන්ගේ මෙහෙයවීම අතිශයින්ම දුර්වලයි. ලංකාවේ ක්‍රිකට්-මාධ්‍ය කලාව තාම තියෙන්නෙ බිම් මට්ටමේ. හිතට ආපු දෙයක් ලියන්නං වාලේ ලියනවා හැරෙන්න සම්ක්ෂණය කිරීම් විමර්ෂණය කිරීම් දක්නට ලැබෙන්නෙත් නෑ. අනෙක් අතට, ක්‍රිකට් විස්තර විචාර කලාවක් කියලා එකක් ඇත්තටම ලංකාවේ නැහැ කිව්වොත් වඩාත් නිවැරදියි.

ක්‍රීඩකයන්

මුලින්ම ලංකාවේ ක්‍රීඩකයන්ට අපි හිස නමා ආචාර කල යුතුයි. විවිධ රටවල ක්‍රීඩකයන් විවිධ අපචාරයන්ට අසු වෙද්දී, ලාංකිකයන් තමන්ගේ රටේ ගවුරවය කෙලෙසෙන්නෙ නැති විදිහට හැම විටම ක්‍රීඩා කරා. හොදම උදැහරණය 2007 ලෝක කුසලානයේ ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ ස්කොෂ් බෝල සිද්ධිය. ඔහොම දෙයක් සුසන්තිකාට උනොත් එහෙම ඇය අනිවාර්යෙන්ම කියනවා "මම පැරදුනේ මගේ අදක්ෂකම නිසා නෙවෙයි. අනෙක් අය හොර කරපු නිසා" කියලා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙතැනදී බොහොම වෘත්තීය මට්ටමෙන් ක්‍රියාකරා. ගිල්ක්‍රිස්ට්ගේ ඉනිමට දිය යුතු ගවුරවය එලෙසින්ම ලබාදුන්නා. සැබවින්ම ඔවුන් නිහතමානියි. වෘත්තීයමයි. 2008 ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව ටෙස්ට් තරගාවලියේදී 'ඇඹරුණා' කිව්වොත් වඩා නිවැරදියි. නමුත් ඔබ දුටුවාද එක සම්මුඛ සාකච්ඡාවකවත් ලංකා කණ්ඩායම උදම් ඇනූ අයුරු? පුරසාරම් දෙඩූ අයුරු? (නමුත් ක්‍රීඩකයන් නොකල ඔය දේ අර්ජුන කලා. ඒකම තමයි මෙතන ප්‍රශ්නය). මහේල නිතරම තමන්ගේ ක්‍රීඩකයන් ඇගයුවා. ඉන්දියානුවන්ට දිය යුතු ගවුරවයත් දුන්නා. අතිශයින්ම වෘත්තීයමයි. ඔවුන්ට අපි හිස නවමු.

මාධ්‍ය

අනෙක් අතට ලංකාවේ ක්‍රිකට් පිලිබද මාධ්‍ය හැසිරීම අතිශයින් අශෝබනයි. ඉන්දියානුවන් දිගින් දිගටම තරග පැරදෙද්දී ප්‍රේක්ෂකයන් කුපිත වෙනවා. කලබල කරනවා. නමුත් ඉන්දීය මාධ්‍ය අතිශය වගකීම් සහගතයි. හැමවෙලාවෙම තත්වය සන්සුන් කරන්න උත්සාහ කරනවා. ආසියා කුසලානයේ අජන්ත මෙන්ඩිස් දස්කම් දක්වද්දී, Dial C for cricket වැඩසටහනේ විචාරකයො කිව්වේ 'කලබල වෙන්න එපා. මේක තාවකාලික තත්වයක්' කියලා. ටෙස්ට් තරගාවලිය පැරදෙද්දී ඔවුන් කිව්වේ 'අපි උපාය මාර්ග හොයා ගනිමින් ඉන්නවා' කියලා. ඉන්දීය මාධ්‍ය හැමවෙලාවෙම ජනතාව සන්සුන් කරවනවා, ඔවුන්ට තව බලාපොරෙත්තුවක්
දෙනවා. විචාරය කල යුතුතැන විචාරය කරනවා. නමුත් ඉන්දියාව ඉදිරියේ 4-1 විදහට ලංකාව පැරදුනාම ලංකාවේ මාධ්‍යවේදීන් මොනවද කිව්වේ? "නායකත්වය වෙනස් කරන්න" , "අජන්ත මෙන්ඩිස්ව අප‍ට එපා", "කපුගෙදර අයින් කරන්න"......තව කෝටියක් දේවල්. ඉන්දියාවෙයි ලංකාවෙයි වෙනස පැහැදිලියි නේද? ඉන්දීය මාධ්‍ය ජනතාව සන්සුන් කරලා තේරීම් පාලක මණ්ඩලයට අවස්ථාවක් දෙද්දී, අපේ මාධ්‍ය ජනතාව කුපිත කරවලා බලධාරීන්ව පීඩනයට පත් කරවනවා. ඔය හේතුව නිසා ඉතිහාසය පුරා බලධාරීන් වැරදි තීරණ
ගොඩක් අරං තියෙනවා. ඉන් එකක් තමයි ටෙස්ට් ක්‍රිකට් වලින් සමුඅරං හිටපු ජයසූරියව තව කරග දෙක තුනකට කණ්ඩායමට කැදවීම. ඔය සිද්දියෙන් වුනේ 'ජයසුරිය නැතිව අපිට බැහැ..' කියන (බොරු) කතාව ලෝකෙටම හඩනගා කීම පමණයි...!!

විස්තර විචාරය(?)

අවසානයේ, ලංකාවේ විස්තර විචාරය. මම හිතන හැටියට දැන්වත් ක්‍රිකට් දැනුමක් ඇති පිරිසක් තෝරගෙන ඔවුන් විධිමත්ව පුහුණු කරලා විස්තර විචාරයට යොමු කරවීම කල යුතුයි. පාලිත පෙරේරාලා ලංකාවේ විස්තර විචාරය ඇරඹු බව ඇත්ත (ඔවුන්ටත් අපේ ප්‍රණාමය)..නමුත් ඔවුන්ගේ වෘත්තීයමය පරිණත බවත් නෑ. ජාත්‍යන්තරයත් එක්ක එයාල ඉන්නෙ ගවුගාණක් පිටිපස්සෙන්. අන්තර් පලාත් තරගාවලිය ආවරණය කරන ඔවුන් ක්‍රීඩා පිටි‍යේ විවිධ ස්ථාන හදුන්වන නම්වත් දන්නේ නැහැ. අනෙක, ඔවුන් සිදුකරන්නේ පිටියේ සිදුවෙන හැම දෙයම 'ගෙඩි පිටින්' පුනරුච්ඡාරණය කිරීමයි. ඒ සිදුවීම් ප්‍රමාණාත්මකව විමර්ශනය වෙන්නෙ නැහැ. 'ඔන්න පිතිකරුවා දැවී ගියා' කිව්වට "ඇයි ඔහු දැවුනේ? ඔහුගේ දුර්වලතාව කුමක්ද?"...මේ කිසිම දෙයක් ගැන සදහනක්වත් නැහැ. ඕක ගුවන් විදුලියට ගැලපුනාට රූපවාහිනියට ගැලපෙන්නේ නැහැ...මන්ද, ඔවුන් විස්තර කරන දේ ප්‍රේක්ෂකයාට තම දෙදෑසින්ම දැකගත හැකි හෙයිනි.. !

ජාත්‍යන්තර තලයේ රසල් ආනල්ඩ් හා රනිල් අබේනායක ඉතා විශිෂ්ට සේවයක් කලද රංජිත් ප්‍රනාන්දු එකම දේ නැවත නැවත වැමෑරීමේ ක්‍රියාවක යෙදී සිටියි. ඔවුන් අතරටද ලාංකේය විචාරකයන් එකතු කල යුතුය. ඒ සදහා විධිමත් වැඩපිලිවෙලක් අත්‍යවශ්‍යය..

ක්‍රිකට් වල අරාජිකත්වයට මේ සියල්ලටම වඩා වගකිවයුත්තේ තේරීම් පාලක මණ්ඩලයයි.

ඔවුන් ගැන පශ්චාත් මරණ පරීක්ෂණය පසුවට.....

Monday, February 16, 2009

පැරණි සොල්දාදුවෝ සදා නොමියෙති (?) ‍~~සනත් හා ලංකාවේ ක්‍රිකට්~~


දිනය 2009 ජනවාරි 28. දඹුල්ල පිටිය පුරා පිත්තෙන් තම අණසක පතුරවමින් සනත් ජයසූරිය ලොව වයස්ගතම එක්දින ශතක ලාභියා ලෙස අභිසෙස් නැංවුනා. ජය ඝෝෂා, වර්ණනා, සුභ පැතුම් පිටියෙන් නොනැවත ලොව පුරා විහිද ගියේ අපට අප ගැන සියුම් ආඩම්බරයක් දනවමින්. ජයසූරිය...ලොව සුපතල නාමය.....ලාංකේය ක්රිකට් තරුව...ලංකාටේ ලකුණ....ඔව්! ඇත්ත....නමුත් මේ සියලු දේ අතරින් සියුම් පැනයක් නැගෙනවා...
"තව කොච්චර කාලයකටද? " ....!#$^*&^%$%

ජයසූරියට තවදුරටත් හතරේ පහරවල්, හයේ පහරවල් ගැසිය හැකි බව තහවුරැ වුනා. තවදුරටත් කඩුලු අතර වේගයෙන් දිවිය හැකි බව තහවුරැ වුනා. නමුත් ඒ අතරේ ඔහුට ඕවර 50ක් පිටියේ රැදී සිටීමට නොහැකි බවත් තහවුරැ වුනා. ඔබ දුටුවද ඔහු තවදුරටත් වෙසෙ ඉවසාගත නොහැකිව බිම දිගා වූ හැටි? ඔබ දුටුවද හති හලමින්, දහඩිය වගුරමින් දිවීමට නොහැකිව ඔහු ඇවිද්ද හැටි? එසේ නම් ඔබ ඒ දුටුවෙ, පරණ නාඹර ජයසූරිය නොවේ. ඔබ ඒ දුටු‍වේ වයස්ගතව තමා වසර ගණනාවක් කල දේ කල ගත නොහැකිව තැවෙන ජයසූරියයි. Retire විය යුතු නමුත් තවම play කරන ජයසූරියයි....

ඇයි ඔහු යා යුත්තේ?

ජයසූරිය retire වෙන්න ඕන හේතු කිපයක් තියෙනවා. එකක් රට පැත්තෙන්. අනෙක ඔහුගේ පැත්තෙන්...මුලින්ම ඔහු ගැනකතා කරමු. ලංකාව විතරක් නොවේ ලෝකේ බොහෝ රටවල දක්ෂ ක්රීඩකයො තමන්ගෙ සුවිශේෂී ක්රීඩා දිවිය මහා අවාසනාවන්ත ලෙස කෙලවර කරගත්ත අවස්ථා ඕන තරම්. හොදම උදාහරණය රොමේෂ් කලුවිතාරණ. නැත්තං මාවන් අතපත්තු. වසර ගණනාවක් ලංකා පිලට තමන්ගෙ දායක්ත්වය දක්වපු මොවුන් අවසානයේ සමුගත්තේ තමන්ට ලැබිය යුතු ‍ගවුරවය ල‍බා ගෙන නොවේ. ඔවුන් එක්කෝ වසර ගණනාවක් පිලෙන් පිටත තේරීම් තමිටුවේ අනුතම්පාව අයදමින් සිටියා. නැත්නම් වසර ගණනක් පිළ තුල දස්කම් නොදක්වමින් ප්රේක්ෂකයාගේ පිළිකුලට බදුන් වෙමින් සිටියා. කොකොම වුනත් ඔවුන්ට මීට වඩාගවුරවාන්විත සමුදීමක් දිය යුතුව තිබුනා. අවුරුදු ගණනක් අපව පිත්තෙන් පිනවු සනත්ටත් මේ අවාසනාවන්ත ඉරණම හිමි නොවීම සුවහසක් ලාංකේය ‍ප්රේක්ෂකයන්ගේ පැතුමයි. ඉතිං ඒ සදහා සනත් retire විය යුත්තේ තමන්ගේ දස්කම්හි හිනිපෙත්තේ සිටින විටකයි. ඒ නියම, ප්රශ්ත අවස්ථාව මෙයයි. ඊට ඇති හොදම සාධකය ලංකා ඉන්දියා පලමු තරගයයි.

දෙවන හේතුව මීට වඩා ප්රබලයි. ලංකා ක්රිකට් අනාගතය...අවුරැදු ගණනක් විචාරකයන් පැවසු දෙමක් වුයේ "සනත් නැතුව ලංකාවට දිනන්ඩ බෑ" යන්නයි. විචාරකයන්ගේ විතරක් නොවේ, මෙය අපි හැමගේ මුවග රැදි වදනක්. අදටත් මේ යෙදුම යම් දුරකට වලංගුයි. නමුත් කෙදිනක හෝ සනත් සමුගත යුතුයි ( අද හෝ හෙට නොවුනත්). මින් අදහස් වන්නේ ඒ දිනය ලංකා ක්රිකට් වල අවසානය යන්නද? නැත. එසේනම් සනත්ගේ තැන ගන්න යොවුන් ත්රීඩකයෙක් බිහි කර ගත යුතුයි. උපුල් තරංග, මහේල උඩවත්ත , තරංග පරණවිතාරන.....විකල්ප බොහොමයි. නමුත් එකෙකු හෝ කණ්ඩායමේ නැත....නැවතත් හේතුව සනත්. සනත් ඉවත්වීමේ තීරණය ඉතා තීරණාත්මක වන්නේ මෙවන් පසුබිමක් තුලයි. යොවුන් ක්රීඩකයෙක්ට කණ්ඩායමේ ස්ථානය හිමි කර දී ඉවත් නොවීම ඛේදජනක වන්නේද මෙහෙයිනි.

මුදල්ද? රටද? කැමැත්තද?

ඇත්තටම ඇයි ඔහු තවමත් රැදී සිටින්නේ? මොකක්ද හේතුව? ඒ ඔහු ලබන මහා මුදල් කන්දරාවද? ඇ.ඩො මිලියන ගණනක ‍කොන්තරාත්තුවට අමතරව විවිධ වෙළද දැන්වීම් වලින් ජයසූරිය අති විශාල මුදල් කන්දරාවක් උපයන බව රහසක් නොවේ. අදටත් අයිස් පලමක් අතින් ගෙන (ice cream කාරයෙක් මෙන්) ඔහු කාගිල්ස් සමාගම ප්රවර්ධනයට උර දෙයි. ඒ මුදල් කන්දරාවක් වෙනුවෙන් බව රහසක් නො‍ව්. ඉවත්නොවීමට හේතුව මුදල් නම් හය අතිශය කණගාටුදායකය (එසේ නොවේ යැයි අපි ප්රාර්ථනා කරමු). මන්ද ඉවත් නොවීමෙන් ඔහු රටත් එහි කීර්තිනාමයත් අනතුරේ හෙලන බැවිනි. හේතුව "ක්රීඩා කිරීමට ඇති කැමැත්ත" නම්, නැවතත් ඔහු තම තීරණය ගැන සිතා බැලිය යුත්තේ ඉහත හේතුව නිසාමය.

ජයසුරිය පවසන ආකාරයට ඔහු ක්රීඩා කරනුයේ රට වෙනුවෙනි. "රට වෙනුවෙන් අවසන් ලේ බිද තෙක් සටන් කරමි" හා සමාන හැගුමක් මෙය දුටුවන විට ජනිත වීම වැලැක්විය නොහැක. කෙසේ වෙතත් නියම හේතුව මෙයනම් ඔහු නැවතත් සිතා බැලිය යුතු බව පැහැදිලිය. මන්ද ඔහු අවහිර කරනුයේ තවත් තරුණ ක්රීඩකයෙක්ගේ අනාගතය බැවිනි. මන්ද ඔහු අවහිර කරනුයේ ලංකා ක්රිකට් අනාගතය බැවිනි.

Saturday, February 14, 2009

වැලන්ටයින් දිනය හා රණවිරුවන්


ප්‍රසිද්ධිය සැබවින්ම පිළිලයකි. ප්‍රසිද්ධිය පිලිකාවක් නම් ජනප්‍රියත්වය පිලිකා කාරකයකි. ලොවක් වටිනා උතුම් සංකල්ප තුනයි පනහේ සංකල්ප බවට පත් කරන්නත්, ලොවක් වටිනා උතුම් මිනිසුන් නරුමයන්, බෙලහීනයන් බවට පත් කරන්නටත් ප්‍රසිද්ධිය සමත්ය. යමක් ප්‍රසිද්ධ වනු යනු ඒ දෙය මිනිසුන් ගොන්නකගේ ආකර්ෂණයට ලක්වීමය..එවැනි ප්‍රපංචයකට වෙළද වටිනාකමක් ආදේශ වීම වැලැක්විය නොහැක. නමුත් මෙහි ප්‍රතිඵලය වන්නේ ප්‍රපංචය
එහි මුල් අරමුණින් අපගමනය වීමයි...වෙනස් වීමයි.. ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවට වඩා
උතුම් කියලා දේශනා කලේ බුදු හාමුදුරුවන්මයි. නමුත් අද 'බොදුකම' ලංකාවේ ප්‍රසිද්ධ කාරණයක්.. ඒ නිසාම බොහෝ දෙනා බුද්ධ ධර්මයේ මුල් ස්වරූපයෙන් අපගමනය වෙලා..මහින්ද රාජපක්ෂ මහත්තයා මහනුවර අසූහාරදායේ පහන් පූජා පවත්වන්නේ ඔය නිසා. හරි දේ ප්‍රතිපත්ති පූජාව...නමුත්, 'මහින්ද රාජපක්ෂගේ බොදුකම' ප්‍රසිද්ධ කරන්න ප්‍රතිපත්ති පූජාවට බෑ. ඒක කරන්න පුලුවන් ආමිස පූජාවෙන්...ඔන්න ප්‍රසිද්ධියත් එක්ක ප්‍රපංචයකට වෙන වින්නැහිය.

මේ ගැන කතා කරන්න මට හිතුනේ ඊයේ දිනයේ තියෙන විශේෂත්වය නිසා. පෙබරවාරි 14....ආදරවන්තයන්ගේ දිනය....ආදරය වෙනුවෙන්, ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වුනු දිනය. දරවන්තයන්ගේ දිනය බිහිවෙන්නේ ආදරය කරන්න බැරි, ආදරය ලබන්න උරැමයක් නැති සුවහසක් මිනිසුන් වෙනුවෙන්. තමන්ගේ ජාතිය, ආගම, කුලය නිසා තමාට උරුම ආදරය තමන්ගෙන් උදුරගත් අහිංසකයන් වෙනුවෙන්. (ඒ අර්ථයෙන් වැලන්ටයින් දිනය එක විදිහකින් සමාජ සමානාත්මතාවය ගැනත් කතා කරනවා). ඒ නයින්, වැලන්ටයින් කියන්නෙත් උතුම්, උදාර සංකල්පයක්..

එහෙව් සංකල්පයක් කලු කඩයේ, පේමන්ට් ගානේ විකිනෙන, වටිනාකමක් නැති කාණු පල්ලේ වැටී ඇති තැනක සිරවී තිබීම ඇත්තෙන්ම ඛේදවාචකයක්. ආදරය කරන්න මිනිස්සු ආසයි. කොටින්ම කියනවනම් ආදරයට මිනිස්සු ආදරෙයි...."ආදරය" ජනප්‍රියයි..ඒ හින්දම ප්‍රසිද්ධයි.. ඒ ප්‍රසිද්ධිය තමන්ගේ ආත්මවෘද්ධිය උදෙසා විවිධ සමාජ ස්ථරවල මිනිස්සු විවිධ විදිහට යොදාගන්න නිසා අද ආදරවන්තයන්ගේ දිනය ජෝක් එකක් වෙලා..විකාරයක් වෙලා..

'අද අපි වෙනුවෙන් වෙන් වෙච්ච දවස' කියලා අහිංසක විදිහට ඔය දවස සමරන අය කී‍යෙන් කී දෙනා‍ද ඉන්නේ? අතේ ඇගිලි ගාණට ඉන්න ඒ සුලුතරයත් වැලන්ටයින් ආටෝපයන් දිහාවට කෙමෙන් කෙමෙන් තල්ලු වෙනවා. ‍ලොකු පාටි ඒකක් දාන්න...lover එකෙන් present එකක් ගන්න...නැත්තං valentine jewelery එකක් අරං දෙන්න....මේව අද අනිවාර්ය අවශ්‍යතා වෙලා..අනිවාර්ය අවශ්‍ය්‍තා කරවලා කිව්වොත් වඩාත් නිවැරදියි. මේ තත්වය ඇතුලේ 'ආදරය', ඊටත් වඩා 'වැලන්ටයින් දිනය' ගොංපාට්කරණය වී ඇති බව
අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ආකාරයට ඕනම දෙයක් බාල්දු කරල දාන්න ප්‍රසිද්ධියට තියෙන්නේ සුවිශේෂි හපන්කමක්. හැකියාවක්.

මගේ මේ ලිපියේ අරමුණ වැලන්ටයින් ගැන කතා කිරීම නොවේ. මම කතා කරන්නේ ඊට වඩා කාලෝචිත සහ ඛේදනීය ක්ෂෙේත්‍රයක් ගැන...හමුදා සෙබලුන්.....රණවිරුවන්...රට වෙනුවෙන් සටන් වදින , දිවි පුදපු රණවිරුවන් දහස් ගණන් සිටිනවා..ඔවුන් ශ්රේෂ්ඨයි. ඒ ගැන විවාදයක් නැහැ..නමුත් ලබන හමුදා ජයග්‍රහණ එක්ක ඔවුන්ටත් ජනප්‍රියත්වයක් ලැබිලා (ඒකත් ගැටලුවක් නෙවේ)...ඒත් සමග පෙර නොවූ විරූ පරිදි ප්‍රසිද්ධියක් ලැබිලා.. වසර විස්සක් රණවිරැවන් උන්නාද මළාද නොබැලූ ඇතැම් සංගීත ශිල්පීන් හනි හනික රණවිරැ ගී ගයන්න පටන් අරං!...හදිසියේ පහල වූ දේශප්‍රේමයෙන් හා රණවිරු ප්‍රේමයෙන් ඔද වැඩුනු ඔවුන් දැන් නින්දට පෙර පවා රණවිරුවන් මතක් කොට කදුලු සලති...ඔවුන්ට ශක්තියක් වන්නට මාන බලති.. කොළඹ නාඹර තරුණියෝ රණවිරු පෙමෙන් සලිත වී සිටිති.. රණවිරු අයියලාට සුබ පතමින් රූපවාහිනියට sms පණිවුඩ එවති. රණවිරුවන්ට මල්මාලා දමති.. එක්වරම රණවිරුවන් දේශයේම විරුවන් බවට පත්ව ඇත.. ඔවුන් කරන කියන දේ සියල්ල අගනේය.. රණවිරුවන්ට එරෙහිව යන්නන් දේශ ද්රෝහීන්ය..ඔවුන් එල්ලා මැරිය යුතුය.

ගැටලුව තියෙන්නේ ඔන්න ඔතනය...රණවිරුවන් කියන සංකල්පය මේ නිශ්චිත මොහොතේ අතිශය ප්‍රසිද්ධය. එම නිසා රණවිරුවනුත් අද විකුණන්න පුලුවන්, මාකට් කරන්න පුලුවන් වෙළද භාණ්ඩයක් වෙලා. රණවිරැවන් ගැන කතා කිරීමම fashion එකක් වෙලා. කොටින්ම කියනව නම් ‍රණවිරුවාට ලැබිය යුතු ගවුරයට /තත්වයට වඩා වෙනස් තත්වයක් ඔහුට වෙනත් පාර්ශව විසින් ආරෝපණය කරවලා. ඒ ආරෝපිත තත්වයෙන් ඇත්තෙන්ම රණවිරුවාට කිසිවක් අතිරේකව ලබෙන්නේ නැහැ. එම තත්වයෙන් අනිසි ඵල ලබන්නේත් ඉහත සදහන් අවශේෂ පාර්ශවයන්ය.

මෙහි ඇති ඛෙදනීය තත්වය මීටත් වඩා දරුණුය. 'රණවිරුවාට ගරු කිරීම' යන ක්‍රියාවම බාල්දු වීම, එයත් හුදෙක් ගොංපාට් එකක් බවට ලක් වීම නිතැතින්ම සිදුවනු ඇත.. එය අප සමාජයේ තවත් සෝබන ක්‍රියාවක් වීම වැලැක්විය නොහැක. මෙහි ප්‍රතිඵලය වනුයේ, හමුදා සෙබලුන්ට අපගෙන් ඇත්තෙන්ම ලැබිය යුතු දේ නොලැබී යාමයි. වැලන්ටයින් දිනය 'ආදරය සැමරීමේ' අරමුණින් බැහැරව ඇති සේ ම 'රණවිරුවන් සැමරීමේ' මුඛ්‍ය පරමාර්ථයෙන් අප බැහැරවීමයි. නොඑසේනම්, රණවිරුවන් 'ගරුකල යුත්තන්' නොව ජෝකර්ලා පිරිසක් බවට පරිවර්තනය වීමයි.

අද අතිමහත් බහුතරය රණවිරුවන් ගැන කතා කරන්නේ කතා කල යුතු නිසාද? නැතහොත් තමාගේ පැවැත්මට "ඔවුන් ගැන කතා නොකර බැරි" නිසාද? රණවිරුවන් සැමරීම සැබෑ අරමුණින්, පිරිසිදු සිතින් සිදුකරන පිරිස ඇත්තේ සැබවින්ම අල්පයක් නොවේද? ඒනයින්, රණවිරුවන්ට අද අත්වී ඇත්තේ 'වැලන්ටයින් දිනයට' අත්ව ඇති ඉරමණම නොවේද? ඒ පිලිකුල් සහගත තැනට වැලන්ටයින් වැටීමට වඩා රණවිරුවන් වැටීම ඛේදනීය නොවේද?. ඒ මන්ද, සැබවින්ම ඔවුන් අප වෙනුවෙන් කැපකිරීම් දහස් ගණනක් කරන බැවිනි. සැබවින්ම
ඔවුන්ට අපගේ ‍ප්‍රණාමය හිමිවිය යුතු බැවිනි....

නැවතත් කියමි...
ප්‍රසිද්ධිය සැබවින්ම විනාශයේ මුලයි..
අද, වැලන්ටයින් මෙන්ම රණවිරුවන් පිලිබද යථාර්තයද එයයි..
විමල් වීරවංශ මහතා මා වෙනුවෙන් සාක්ෂි දරනු ඇත...