Tuesday, November 10, 2009

ආයුබෝවේවා මහරජානණනි!!!


නැවතත් ලාංකේය දේශපාලන කරළිය උණූසුම් වෙමින් පවතියි. යුද්ධයෙන් පසුව කුණුකන්දල් අවුස්සමින්
සිටි මාධ්‍යය නව පුවත් මවන්නන් සොයමින් පවතියි. මෙතුවක් කල් තනි අශ්වයෙකුගේ සටනක් වුනු
ජනාධිපතිවරණ සටන පොදු අපේක්ෂක උන්මාදයෙන් වියරු වැටී ඇති සෙයකි. මාස දෙක තුනකට ඉහතදී
ජාතික විරුවෙකු වූ ජනරාල් පොන්සේකාට ආණ්ඩුවේ මාධ්‍යය පහර පිට පහර එල්ල කරද්දී, කලකට පෙර
මානව හිමිකම් කොමිසම ඉදිරියට ඔහු ගෙන යාමට තැත්කල පිරිස් ඔහුව රකින්නට තැත් කරති.


පොන්සේකා මහතා ජනපති පදවියට ඉතා සුදුස්සෙක් බව බොහෝ දෙනා සිතති. නමුත් යතාර්ථය නම් ඔහු මහරජතුමන්ටත් එහා ගිය උන්මන්තකයකු විය හැකිය යන්නයි. බලයේ සහ ප්‍රසිද්ධියේ සැප විදි පොන්සේකා මහතා ජ.වි.පෙ නොව සක්කරයා කීවත් විධායක ජනාධිපතිධුරය අත්හරිතියි සිතීම උගහටය. ඔහුගේ විධායක පාලනයක් යටතේ ලංකාවේ අනාගතය පිලිබද විශාල ගැටලුව්ක් මතු වනු ඇති බව පැහැදිලිය. මූලිකවම යුධසමයේ විදෙස් මාධ්‍යයන් වෙත දෙමළ ජනයාගේ අයීතීන් පිලිබද ඔහු කල ආන්දෝලනාත්මක ප්‍රකාශයන් අපගේ මතකයට නැගේ. එවන් ප්‍රතාශ ජාතික රාජ්‍යයක් තුල දෙමළ අභිලාෂයන් රදවා ගැනීමට රුකුල් නොදෙන බවනම් පැහැදිලිය. අප දැන් එළඹ ඇත්තේ වාර්ගික ගැටලුවේ සංධිස්ථානයකටය. ත්‍රස්තවාදය තුවක්කුවෙන් මෙල්ල කර ද්‍රවිඩ හදවත් සාමයෙන් දිනිය යුතු බව ජ.වි.පෙ ප්‍රමුඛ ජාතික බලවේග කලකටදී ඉහතී පාරම් බෑහ. අද එළඹ ඇත්තේ එකී හදවත් දිනාගැනීමේ යුගයයි. නමුත් එවන් තත්වයක් තුල පොන්සේකා‍ මහතාගේ සම්ප්‍රාප්තිය එතරම් සුභදායී නොවන බව පැහැදිලීය. මහරජගේ අවසානය පස්වන ඊලාම් යුද්ධයක ඇරඹුම විය හැක්කේද එබාවිනි.


වර්තමානයේ ප්‍රජාතන්න්‍රවාදය මූලික කරගත් ගැටලු රැසකට අප මුහුණ දී සිටින්නෙමු. මාධ්‍ය නිදහස අහිමි වීමේ සිට අභිරහස් සාමාන්‍ය පුද්ගල ඝාතන දක්වා එතී අර්බුධය ව්‍යාප්තව ඇත. නමුත් පොන්සේකා පාලනයක් යටතේ එහි අඩුවීමක් අපේක්ෂා කල හැකිද? මර්ධනය කිරිමේ කලාවේ කෙල පැමිණියෙක් ලක්දිව ඇතිනම් ඒ අන්කවරෙකුවත් නොව පොන්සේකා මහතා බව අවිවාදිතය. අද මාධ්‍ය කොතරම් බටර් ගෑවද හමුදා විනය පිටුපස ඇති එම දරදඩු පාලනය එම බටර් වලින් වුවද සැගවිය නොහැක. හමුදාව තුල පවත්වාගත් එම දරදඩු පාලනයම ලක්දිටවම ඌනනය වනු නැතැයි සාක්ෂි දැරිය හැක්කේ කාටද? පකිස්ථානයේ හෝ සිම්බාබ්වේ රාජ්‍යයේ ඉරණම ලංකාවට හිමිනොවනු ඇතැයි තිවහැක්කේ කාටද? අද දේවදූතයෙක් මෙන් පෙනී සිටින පොන්සේකා සැබවින්ම දේවදූතයෙක්ද මාරදූතයෙක්දැයි නිශ්චය කරනුයේ කෙසේද?


පොන්සේකගේ සම්ප්‍රාප්තිය සමග අපි යහපාලනයක් බලාපොරොත්තු වන්නෙමු. දැනට කණපිට ගසා ඇති ලාංකීය සමාජක්‍රමය සරි කිරීමක් අපි අපේක්ෂා කරන්නෙමු. විධායක ක්‍රමය නොමැති ජනතාවට වගකියන
පාලනයක් බලාපොරොත්තු වන්නෙමු. නමුත් ඒ සියල්ල සිදුවීමට මත්තෙන් ඉටුවියයුතු වැදගත් කරුණක් ඇත. මහරජාණන් පැන්නූ පොන්සේකා මහතා සැදැහැසිතින්, ලංකා ඉතිහාසයේ බිහිවූ බලවත්ම තනතුරට ආයුබෝවන් කිවයුතුය. නමුත් ඒ වැදගත් කරුණ අපේක්ෂිත අයුරින්ම ඉටු නොවුනොත්??? නැවතත් 'ආයුබෝ වේවා මහරජාණෙනි'ම වනු ඇත...'රජපස පන්නා පොන්සේකා ගෙන්නුවා වාගේ'යැයි සිංහලයට අලුත් පිරුලක් එකතුවීමටද බැරි නැත...ඉදින් එක් දෙයක් පැහැදිලිය. ඒ පොන්සේකා ආගමනයෙන් අප බලාපොරොත්තු වන දේශපාලන අයෛෂ්චර්යය, පොන්සේකා නොව සක්කරයා ආවත් ලංකාවේ දේශපාලන සදාචාරය ශෝධනය වනතෙක් ඉටු නොවනු බවමය. ආයුබෝවේවා මහරජානණනි!!!

2 comments:

  1. අම්මට සිරි මෙතන තිබුන ලෑලි ගෙදර කෝ?
    දෙමල ජනතාව ගැන කියනව නම් දෙමල ජනතාවගේ දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නය වන සරනාගත කදවුරු වල ප්‍රශ්නය ගැන ආමන්ත්‍රනය කරල තියෙන්නෙ කවුද?
    රජතුමාද?ජෙනරාල්ද?
    රජතුමා එහෙම ප්‍රශ්නයක්වත් නැති බව කියන අතර ජනරාල් එම ප්‍රශ්නය වහා විසදිය යුතු යැයි පවසයි.(ලොක්කගේ ඉල්ලා අස්වීමේ ලිපිය බලන්න)
    ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ගැන ප්‍රශ්නයක් තිබේ කියලවත් රජතුමා පිලිගන්නේ නැති අතර ඒවා වහා විසදිය යුතු කාරනා ලෙස ජෙනරාල් දකී.
    අත් අඩංගුවට ගෙන සිටින දෙමල තරුනයන් සම්බන්ද විධිමත් ක්‍රියාමාර්ගයකට වහා යාම ජනරාල්ගේ කොන්දේසියක් මිස රජතුමාගේ ඇජෙන්ඩාවේ කාරනයක් නොවේ.
    දැන් එතකොට දෙමල අයගේ පැත්තෙන් බැලුවම වඩා හොද ජනරාල්ද?රජතුමාද?
    මනෝ ගනේෂන් වගේ දෙමල නායකයන් සහයෝගය දෙන්නේ රජාටද?ජනරාල්ටද?
    ආනන්දසංගරි ( මහින්දගේ ඇන්ට් කොටි වෝ එකට පට්ට සපෝට් එක දුන්න කෙනා)ත් පොදු අපේක්ෂකයෙක් ගැන විශ්වාස කරනව කියල තිබුන.
    රජතුමාට ඉන්නෙ කරුනා වගේ පජාත වෙච්ච දෙමල නායකයො සෙට් එකක්නෙ.
    යුද්ධය දෙමල අයට පීඩා කල බව ඇත්තක්.හැබැයි ඒකට වැඩියෙන් වග කියන්න ඕනෙ මහින්දට වඩා ජෙනරල් කියන එක වැරදි තර්කයක්.මේ ඩබලම ඒ ගේම් එකේ හිටියා.හරිනම් යුද්දෙ කරන්න කියල අන දුන්නේ රජතුමා.ඒ අර්ථයෙන් බලද්දි වැඩියෙන්ම දේමල විරෝධියා රජතුමානෙ.ජනරාල් කලේ අන පිලිපදින එක විතරනෙ.:D
    ඇත්ත සිද්දිය තමයි මේ දෙන්නම බලන්නෙ බලය ගන්න.බලය ගන්න මේ ලොක්කො දෙන්න මරාගද්දි ඒ මරාගැනිල්ලෙන් රටට අවම දෙයක් ගන්න බැරිද?ඒක තමයි වැදගත් වෙන්නෙ.
    විධායක ක්‍රමය අහෝසි කරවගන්න තැනට ජෙනරාල් හිරකරගන්න පුලුවන් නම්,17 සංශෝදනය බලාත්මක කොරල අවතැන් ප්‍රශ්නය විසදල,ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුලුවන් අවම ප්‍රතිසංස්කරන ටිකකට ලොක්කව හිර කරගන්න පුලුවන් නම් ඒක මේ දෙන්නෙගේ බල සටන සමාජයේ යහපත වෙනුවෙන් කලමනාකරනය කරා වෙනවා.
    ඒකත් නොකර නිකම් අරයා ඒකාධිපති වෙයි මෙයා ඒකාධිපති වෙයි කියල කියව කියව හිටියට මෙලෝ වැඩක් වෙන්නෙ නැහැ.දැන් ඉන්න රජතුමා තව අවුරුදු 8 හිටියොත් නම් අපි සේරටම පුලා අයියා වන මගේ පිහිට තමා.දැනටම මේක සිම්බාබ්වේ වගේ වෙන්න යන්නෙ

    ReplyDelete
  2. මෙතන මම මහරජාවවත් ජෙනරාල්වවත් සුද්ධ කරන්න යන්නේ නෑ. ඔය දෙන්නම එකයි කියන මතයේ මම ඉන්නේ. මම මතුකරන්නේ ජෙනරාල්ගේ පාලනය පිලිබද
    තියෙන මනෝරාජික අදහස් වැරදෙන්න පුලුවන් කියන කාරණේ. අපි දැනටමත් දන්නව මහින්දගේ උපරිම ආත්මාර්ථකාමී ස්වභාවය මොනවගේද කියලා. ජනරාල් ඊට
    අන්තෙට යන්නැතිවෙයි කියල කාටවත් සහතික කරන්න බෑ. මේ ගැන අලුත් දේශපාලනික කියවීමක් අවශ්‍යයි

    ReplyDelete