Saturday, February 14, 2009

වැලන්ටයින් දිනය හා රණවිරුවන්


ප්‍රසිද්ධිය සැබවින්ම පිළිලයකි. ප්‍රසිද්ධිය පිලිකාවක් නම් ජනප්‍රියත්වය පිලිකා කාරකයකි. ලොවක් වටිනා උතුම් සංකල්ප තුනයි පනහේ සංකල්ප බවට පත් කරන්නත්, ලොවක් වටිනා උතුම් මිනිසුන් නරුමයන්, බෙලහීනයන් බවට පත් කරන්නටත් ප්‍රසිද්ධිය සමත්ය. යමක් ප්‍රසිද්ධ වනු යනු ඒ දෙය මිනිසුන් ගොන්නකගේ ආකර්ෂණයට ලක්වීමය..එවැනි ප්‍රපංචයකට වෙළද වටිනාකමක් ආදේශ වීම වැලැක්විය නොහැක. නමුත් මෙහි ප්‍රතිඵලය වන්නේ ප්‍රපංචය
එහි මුල් අරමුණින් අපගමනය වීමයි...වෙනස් වීමයි.. ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවට වඩා
උතුම් කියලා දේශනා කලේ බුදු හාමුදුරුවන්මයි. නමුත් අද 'බොදුකම' ලංකාවේ ප්‍රසිද්ධ කාරණයක්.. ඒ නිසාම බොහෝ දෙනා බුද්ධ ධර්මයේ මුල් ස්වරූපයෙන් අපගමනය වෙලා..මහින්ද රාජපක්ෂ මහත්තයා මහනුවර අසූහාරදායේ පහන් පූජා පවත්වන්නේ ඔය නිසා. හරි දේ ප්‍රතිපත්ති පූජාව...නමුත්, 'මහින්ද රාජපක්ෂගේ බොදුකම' ප්‍රසිද්ධ කරන්න ප්‍රතිපත්ති පූජාවට බෑ. ඒක කරන්න පුලුවන් ආමිස පූජාවෙන්...ඔන්න ප්‍රසිද්ධියත් එක්ක ප්‍රපංචයකට වෙන වින්නැහිය.

මේ ගැන කතා කරන්න මට හිතුනේ ඊයේ දිනයේ තියෙන විශේෂත්වය නිසා. පෙබරවාරි 14....ආදරවන්තයන්ගේ දිනය....ආදරය වෙනුවෙන්, ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වුනු දිනය. දරවන්තයන්ගේ දිනය බිහිවෙන්නේ ආදරය කරන්න බැරි, ආදරය ලබන්න උරැමයක් නැති සුවහසක් මිනිසුන් වෙනුවෙන්. තමන්ගේ ජාතිය, ආගම, කුලය නිසා තමාට උරුම ආදරය තමන්ගෙන් උදුරගත් අහිංසකයන් වෙනුවෙන්. (ඒ අර්ථයෙන් වැලන්ටයින් දිනය එක විදිහකින් සමාජ සමානාත්මතාවය ගැනත් කතා කරනවා). ඒ නයින්, වැලන්ටයින් කියන්නෙත් උතුම්, උදාර සංකල්පයක්..

එහෙව් සංකල්පයක් කලු කඩයේ, පේමන්ට් ගානේ විකිනෙන, වටිනාකමක් නැති කාණු පල්ලේ වැටී ඇති තැනක සිරවී තිබීම ඇත්තෙන්ම ඛේදවාචකයක්. ආදරය කරන්න මිනිස්සු ආසයි. කොටින්ම කියනවනම් ආදරයට මිනිස්සු ආදරෙයි...."ආදරය" ජනප්‍රියයි..ඒ හින්දම ප්‍රසිද්ධයි.. ඒ ප්‍රසිද්ධිය තමන්ගේ ආත්මවෘද්ධිය උදෙසා විවිධ සමාජ ස්ථරවල මිනිස්සු විවිධ විදිහට යොදාගන්න නිසා අද ආදරවන්තයන්ගේ දිනය ජෝක් එකක් වෙලා..විකාරයක් වෙලා..

'අද අපි වෙනුවෙන් වෙන් වෙච්ච දවස' කියලා අහිංසක විදිහට ඔය දවස සමරන අය කී‍යෙන් කී දෙනා‍ද ඉන්නේ? අතේ ඇගිලි ගාණට ඉන්න ඒ සුලුතරයත් වැලන්ටයින් ආටෝපයන් දිහාවට කෙමෙන් කෙමෙන් තල්ලු වෙනවා. ‍ලොකු පාටි ඒකක් දාන්න...lover එකෙන් present එකක් ගන්න...නැත්තං valentine jewelery එකක් අරං දෙන්න....මේව අද අනිවාර්ය අවශ්‍යතා වෙලා..අනිවාර්ය අවශ්‍ය්‍තා කරවලා කිව්වොත් වඩාත් නිවැරදියි. මේ තත්වය ඇතුලේ 'ආදරය', ඊටත් වඩා 'වැලන්ටයින් දිනය' ගොංපාට්කරණය වී ඇති බව
අමුතුවෙන් කිවයුතු නැහැ. මේ ආකාරයට ඕනම දෙයක් බාල්දු කරල දාන්න ප්‍රසිද්ධියට තියෙන්නේ සුවිශේෂි හපන්කමක්. හැකියාවක්.

මගේ මේ ලිපියේ අරමුණ වැලන්ටයින් ගැන කතා කිරීම නොවේ. මම කතා කරන්නේ ඊට වඩා කාලෝචිත සහ ඛේදනීය ක්ෂෙේත්‍රයක් ගැන...හමුදා සෙබලුන්.....රණවිරුවන්...රට වෙනුවෙන් සටන් වදින , දිවි පුදපු රණවිරුවන් දහස් ගණන් සිටිනවා..ඔවුන් ශ්රේෂ්ඨයි. ඒ ගැන විවාදයක් නැහැ..නමුත් ලබන හමුදා ජයග්‍රහණ එක්ක ඔවුන්ටත් ජනප්‍රියත්වයක් ලැබිලා (ඒකත් ගැටලුවක් නෙවේ)...ඒත් සමග පෙර නොවූ විරූ පරිදි ප්‍රසිද්ධියක් ලැබිලා.. වසර විස්සක් රණවිරැවන් උන්නාද මළාද නොබැලූ ඇතැම් සංගීත ශිල්පීන් හනි හනික රණවිරැ ගී ගයන්න පටන් අරං!...හදිසියේ පහල වූ දේශප්‍රේමයෙන් හා රණවිරු ප්‍රේමයෙන් ඔද වැඩුනු ඔවුන් දැන් නින්දට පෙර පවා රණවිරුවන් මතක් කොට කදුලු සලති...ඔවුන්ට ශක්තියක් වන්නට මාන බලති.. කොළඹ නාඹර තරුණියෝ රණවිරු පෙමෙන් සලිත වී සිටිති.. රණවිරු අයියලාට සුබ පතමින් රූපවාහිනියට sms පණිවුඩ එවති. රණවිරුවන්ට මල්මාලා දමති.. එක්වරම රණවිරුවන් දේශයේම විරුවන් බවට පත්ව ඇත.. ඔවුන් කරන කියන දේ සියල්ල අගනේය.. රණවිරුවන්ට එරෙහිව යන්නන් දේශ ද්රෝහීන්ය..ඔවුන් එල්ලා මැරිය යුතුය.

ගැටලුව තියෙන්නේ ඔන්න ඔතනය...රණවිරුවන් කියන සංකල්පය මේ නිශ්චිත මොහොතේ අතිශය ප්‍රසිද්ධය. එම නිසා රණවිරුවනුත් අද විකුණන්න පුලුවන්, මාකට් කරන්න පුලුවන් වෙළද භාණ්ඩයක් වෙලා. රණවිරැවන් ගැන කතා කිරීමම fashion එකක් වෙලා. කොටින්ම කියනව නම් ‍රණවිරුවාට ලැබිය යුතු ගවුරයට /තත්වයට වඩා වෙනස් තත්වයක් ඔහුට වෙනත් පාර්ශව විසින් ආරෝපණය කරවලා. ඒ ආරෝපිත තත්වයෙන් ඇත්තෙන්ම රණවිරුවාට කිසිවක් අතිරේකව ලබෙන්නේ නැහැ. එම තත්වයෙන් අනිසි ඵල ලබන්නේත් ඉහත සදහන් අවශේෂ පාර්ශවයන්ය.

මෙහි ඇති ඛෙදනීය තත්වය මීටත් වඩා දරුණුය. 'රණවිරුවාට ගරු කිරීම' යන ක්‍රියාවම බාල්දු වීම, එයත් හුදෙක් ගොංපාට් එකක් බවට ලක් වීම නිතැතින්ම සිදුවනු ඇත.. එය අප සමාජයේ තවත් සෝබන ක්‍රියාවක් වීම වැලැක්විය නොහැක. මෙහි ප්‍රතිඵලය වනුයේ, හමුදා සෙබලුන්ට අපගෙන් ඇත්තෙන්ම ලැබිය යුතු දේ නොලැබී යාමයි. වැලන්ටයින් දිනය 'ආදරය සැමරීමේ' අරමුණින් බැහැරව ඇති සේ ම 'රණවිරුවන් සැමරීමේ' මුඛ්‍ය පරමාර්ථයෙන් අප බැහැරවීමයි. නොඑසේනම්, රණවිරුවන් 'ගරුකල යුත්තන්' නොව ජෝකර්ලා පිරිසක් බවට පරිවර්තනය වීමයි.

අද අතිමහත් බහුතරය රණවිරුවන් ගැන කතා කරන්නේ කතා කල යුතු නිසාද? නැතහොත් තමාගේ පැවැත්මට "ඔවුන් ගැන කතා නොකර බැරි" නිසාද? රණවිරුවන් සැමරීම සැබෑ අරමුණින්, පිරිසිදු සිතින් සිදුකරන පිරිස ඇත්තේ සැබවින්ම අල්පයක් නොවේද? ඒනයින්, රණවිරුවන්ට අද අත්වී ඇත්තේ 'වැලන්ටයින් දිනයට' අත්ව ඇති ඉරමණම නොවේද? ඒ පිලිකුල් සහගත තැනට වැලන්ටයින් වැටීමට වඩා රණවිරුවන් වැටීම ඛේදනීය නොවේද?. ඒ මන්ද, සැබවින්ම ඔවුන් අප වෙනුවෙන් කැපකිරීම් දහස් ගණනක් කරන බැවිනි. සැබවින්ම
ඔවුන්ට අපගේ ‍ප්‍රණාමය හිමිවිය යුතු බැවිනි....

නැවතත් කියමි...
ප්‍රසිද්ධිය සැබවින්ම විනාශයේ මුලයි..
අද, වැලන්ටයින් මෙන්ම රණවිරුවන් පිලිබද යථාර්තයද එයයි..
විමල් වීරවංශ මහතා මා වෙනුවෙන් සාක්ෂි දරනු ඇත...

3 comments:

  1. Right, well I think that would probably be the most amazing blog post I've ever read... had I been able to understand what the squiggly lines mean.
    They are pretty though. ^.^

    ReplyDelete
  2. ඔබේ කතාවේ සත්‍යක් ඇතිමුත් වැලටයින් ගැන ඔබ සදහන් කරන කතාවේ එක්තරා අතකින් වැරදි තිබෙනවා. වැලටයින් කියා දවසක් තිබ්බේ නෑ ඇත්තටම, ඒ පාප්තුමා ගැන කතාවක් තිබ්බත් මුලින් තිබ්බේ ඔහු උදව් කල විවාහ වුණ අය ඔහුව සැමරිමයි. ඒ තුලින් පසු කාලීනව විවාහ වු අයත් පෙම්වතුනුත් සමරන්න ගත්ත නිසා එය ආදරවත්තයන්ගේ දවස ලෙස වැටුනා, ඉන් පසුයි ඔබ කියන කාරණයත් බටහිර වෙළඳ උපක්‍රමයත් හෙතුකොට අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ.

    ReplyDelete
  3. රණවිරුවන්ට ගරු කරන්න කියලා මේ දවස් වල පාර දිගේ අතොරක් නැතුව වැටෙන බැනර් තොගයත් ඔය වගේම තමයි. එක දාගන්න ඕන උවමනාවට බැනර් එල්ලනවා මිසක් සමහරු ඔබ කියනවා වගේ මෙච්චර දවසත් රණවිරුවෝ ඉන්නවද මලාද කියලා බලපු කට්ටිය නෙවෙයි.
    සංගීත ශිල්පීන් ගැනනම් කියලා වැඩක් නෑ. එක එක විකාර මෙච්චර දවසක් කියපු, රටක් ගැන එක බින්දුවක්වත් නොහිතපු අයට දැන් රට මතක් වෙලා. අපේ අයට මේ වෙනසවත් තේරුම් ගන්න බැරි එකයි තියෙන ප්‍රශ්නේ.

    ReplyDelete